සමාජ රෝග කියන්නේ ඇසෙනකොටම කෙනෙකු බියට ගන්වන වචන දෙකක්. කොතරම් බියවී සිටියද ඒ පිලිබඳ නිසියාකාර දැනුමක් අපේ රටේ බොහෝ දෙනාට නැති බව කිව යුත්තේ කණගාටුවෙන්. මේ නිසාම අහිංසක පුද්ගලයන්ට පවා හිරිහැර විඳීමට සිදු වූ අවස්ථා කිහිපයක්ම පසුගිය කාලයේදී අසන්නට දකින්නට ලැබුණා. මේ ලිපියේ අරමුණ සමාජ රෝග යනු මොනවද යන්න පිලිබඳ ඔබට දළ අවබෝධයක් ලබා දීමයි.
සමාජ රෝග යනු මොනවා ද?
සමාජ රෝග යන වචනයට වඩාත් ගැළපෙන්නේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග හෙවත්, ලිංගිකව පැතිරෙන රෝග යන්නයි. අතීතයේ සිටම එය VD යන කෙටි නාමයෙන් ද හැඳින්වෙනවා. ඒ ‘Venereal Disease’ යන වචන දෙකේ මුල් අකුරු දෙක ගෙන කෙටි යෙදුමක් ලෙසයි. එහෙත් වර්තමානයේ මෙම රෝග Sexually Transmitted Diseasesහෙවත් STD යන යෙදුමෙන් වඩාත් පැහැදිලිව අර්ථ දැක්වෙනවා.
VD යන කෙටි නාමය යටතට ගැනෙන රෝග මොනවා ද?
එය ලිංගිකව බෝවිය හැකි සෑම රෝගයකටම පොදුවේ භාවිත කරන නාමයයි. එවැනි රෝග 13 ක් පමණ තිබෙන බව හඳුනාගෙන තිබෙනවා. ඒ අතරින් සමහර රෝග ඉතා භයානකයි. සුව කළ නොහැකියි. සමහර රෝග භයානක වුවද නිවැරැදි ප්‍රතිකාර මඟින් සුව කළ හැකියි. ප්‍රතිකාර නොකළේ නම් රෝගය උත්සන්න වී රෝගියා මියයාමට ද පුළුවන්. තවත් සමහර රෝග භයානක නොවුණත් කරදරකාරියි.
එවැනි රෝගවලින් වැළකීමට පුළුවන් ද?
ඔව්. එය මතකයේ තබා ගත යුතු ඉතා වැදගත් කරුණක්. ලිංගිකව පැතිරිය හැකි රෝග බොහෝ විට බෝවන්නේ එම රෝගය වැලඳි ඇති තැනැත්තෙක් හෝ තැනැත්තියක් සමඟ ලිංගික ඇසුරක් පැවැත්වීමෙන්. එම නිසා එවැනි රෝගවලින් වැළකීම ඉතා පහසුයි. අවශ්‍ය වන්නේ නිවැරැදි ජීවන රටාවකට හුරු වීමයි. මීට අමතරව රුධිර පාරවිලනයෙන්, නික්ෂේපණ සහ මවගෙන් කළලයට ආදි ලෙස සමාජ රෝග බෝවිය හැකියි.
බහුලව දක්නට ලැබෙන සමාජ රෝග මොනවා ද?
අපේ රටේ ප්‍රධාන වශයෙන් පැතිරී ඇති මෙවැනි රෝග හතරක් තිබෙනවා. ගොනෝරියාව, උපදංශය (සිෆිලිස්), නොවිශේෂිත මුත්‍රා මාර්ග ආසාදනය සහ ලිංගික හර්පීස් ආදි රෝග ඒ අතර ප්‍රධානයි.
මීට අමතරව ඉනිකුන්නන් බෝවීම, දිලීර ආසාදන, ට්රයිකෝමොනාසිස් ආසාදන වැනි රෝග ද දැකගත හැකියි. එමෙන් ම බහුලව පැතිර නැතත් ඒඩ්ස් රෝගය ද භයානක රෝගී තත්ත්වයක්. එය මාරාන්තිකයි.
සමාජ රෝග වැලඳුණු පුද්ගලයින් හඳුනා ගැනීමේ ක්‍රමවේදය කුමක් ද?
කෙනෙකු දෙස බාහිරින් නිරීක්ෂණය කොට ඔහුට සමාජ රෝගයක් තිබේ ද? නොතිබේ ද? යන්න නිශ්චය කළ නොහැකියි. ඉතා සෞඛ්‍ය සම්පන්න ලෙස පෙනෙන අයට පවා එවැනි රෝග වැලඳි තිබිය හැකියි. තමන්ට සමාජ රෝග වැලඳි ඇති ද යන සැකය ඇත්නම් වෛද්‍ය පරීක්ෂණ මඟින් එය ස්ථිරවම නිගමනය කළ හැකියි.
එවැනි සැකයක් ඇති කෙනෙක් කළ යුතු කාර්ය කෙබඳු ද?
එවැනි සැකයක් වේ නම් හැකි විගස වෛද්‍යවරයකු හමුවිය යුතුයි. මෙහිදී වෛද්‍යවරයාට රෝගය පිළිබඳව විස්තර නොසඟවා පැවසීම ඉතාම වැදගත්. බොහෝ සමාජ රෝග සඳහා නොවරදින ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. එසේ ප්‍රතිකාරවලට යොමු වීමෙන් තමන්ට රෝගය සුව කර ගැනීමට අවස්ථාව උදාවනවා සේ ම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග මැඬලීමට සහාය වීමට ද පුළුවන්.
සමහර සමාජ රෝග වැසිකිළි අසුනේ වාඩිවීමෙන් බෝ වෙනවා ද?
එය ඉතාම කලාතුරකින් සමහර රෝගයක දී පමණක් සිදුවන්නක්. ‘ට්රයිකොමොනයිසස්’ නමැති යෝනි මාර්ගයෙන් ස්‍රාවයක් පිටවීමේ රෝගය තෙත් වූ වැසිකිළි සීට් එකකින් බෝවිය හැකියි. සමාජ රෝග බොහෝ විට බෝවන්නේ ලිංගික ඇසුරකදීයි.
සමාජ රෝග කාන්තාවකගේ වඳ බවට හේතුවක් ද?
සමාජ රෝග වැලඳුණ කාන්තාවක් වඳ බවට පත්විය හැකියි. ඊට හේතුව එවැනි කාන්තාවන්ගේ අභ්‍යන්තර ලිංගික අවයව ආසාදනයට ලක්වීම නිසා ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් නිදහස් වී පැලෝපීය නාලය දිගේ එන ක්‍රියාවලිය අවහිර විය හැකි අතර එය වඳ බවට පත්වීමට හේතුවක් වීමයි.
No comments:
Post a Comment